2006 වසරේ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එවක යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.

ඒ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේදීයි.

එහිදී සාක්ෂි ලබාදුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. සුනිල් කුමාර කියා සිටියේ ප්‍රහාරයෙන් පසු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන කාන්තාවගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බවත් පාද දෙක තවත් ස්ථානයක තිබූ බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක කියා සිටියේ සිද්ධියට අදාළව සාක්ෂිකාර වෛද්‍යවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තා හා ඊට අදාළ ගොනු මහාධිකරණයට කැඳවා තිබුණ ද අතපසුවීමකින් එම වෛද්‍ය වාර්තාව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

ඒ අනුව අදාළ වාර්තා සොයා ගන්නා තෙක් සාක්ෂිකාර වෛද්‍යවරයා සතුව තිබෙන පිටපතක් මත සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධය පළ කළා.

එහෙත් එම විරෝධය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා එම ලේඛනය මත සාක්ෂි මෙහෙයවීමට අවසර ලබා දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

source :- https://tinyurl.com/4k7ph9d3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here