
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
අද (17) පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ.

ඇතැම් ගුරු ශ්‍රේණියන්හි රුපියල් 38,000 පවතින වැටුප රුපියල් 61,000 දක්වා වැඩිවෙනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුප රුපියල් 80,000-90,000කින් පමණ ඉහළ යන බව ද ඔහු පැවසුවා.
තවද, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර, රුපියල් 8,250ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළ සිදුකිරීමට යෝජනා කර තිබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
මෙසේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය ඇතුළත් වෙනවා.
රු 15,750කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරන බව ජනාධිපතිවරයා පැවසුවා.
ඒ අනුව රු 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා ද, රු 500ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරන බවයි ඔහු සඳහන් කළේ.
මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුව වියදම රු බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000ක් සහ ඉතිරි මුදල 30%ක් ලෙස 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
එබැවින් 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන්කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
source :- https://tinyurl.com/3sxxb5j6







