2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්ව තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් 241ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බව සඳහන්.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ පත්කරනු ලැබුවා.

අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ගරු අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ පත්කළා.

මේ අයුරින්ම ගරු.මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ඒ. එච්.එම්. ෆවුසි තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් පත් කරනු ලැබුවා.

කෙසේ වුවද පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් කළේ නැහැ.

සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක්වූ නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වුණා.

මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්වී ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කොට ඇති අතර තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනු ලැබුවා.

මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පැවතී ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබෙනවා.

එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/n8cyb8vt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here