ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවා තිබුණා.

පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබෙනවා.

ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කර තිබුණා.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසිනුයි සංශෝධික පනත් කෙටුම්පතක් සකස් කර ඇත්තේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

source :- https://tinyurl.com/2x3z33ke

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here