ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඊයේ නිරීක්ෂණයට ලක්වුණා.

ඒ අනුව අද පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව හමුවේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ විවාදය හෙට සිට මාර්තු 25 දක්වා පැවැත්වෙනවා.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මේ මස 27 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අයවැය අවසන් වර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මාර්තු 21 වැනිදා පස්වරු 6.00ටයි.

මෙම වසරේ රජයේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,218ක්.

පසුගිය වසරේ රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 6,978ක් වූ අතර ඒ අනුව මෙවර රජයේ වියදම රුපියල් බිලියන 2760කින් අඩු කර තිබෙනවා.

අයවැය සදහා අනුමැතිය ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලය අද උදෑසන රැස්වීමට නියමිතයි.

මේ අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, ගොවීන්, ධීවරයින් මෙන්ම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පිරිස් අද ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි අවධානයෙන්.

අභියෝගාත්මක වසර ගණනාවකින් පසු ඉදිරිපත් කරන මෙවර අයවැය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව ඇතුලූ‍ විවිධ ක්ෂේත්‍රවල පිරිස් තබා ඇති බලාපොරොත්තු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සොයාබැලීමක් සිදුකළා.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ සඳහා මුදල් වෙන් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා ඇතුළු අංශ ගණනාවකට මෙවර අයවැයෙන් වැඩි බර තැබීමක් සිදුවනු ඇති බවට ආර්ථික විශේෂඥයින් මත පළ කරනවා.

එමෙන්ම, ව්‍යාපාරිකයින්, සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නන්, දුම්රිය සේවකයින් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් මෙවර අයවැය සම්බන්ධයෙන් සුබවාදී අපේක්ෂා රැසක් තබා සිටිනවා.

source :- https://tinyurl.com/36hn7bwv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here