
ආයුබෝවන් ඇමතිතුමා මේ දවස්වල මොකද කරන්නේ?
ඇත්තටම අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට ජන මතයට ගරු කරමින් මොකද කරන්නේ කියලා හොඳ අධීක්ෂණයකින් සහ නිරීක්ෂණයකින් ඉන්නවා.
ඇයි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ නැත්තේ?
ඇත්තටම මම දැඩි ලෙස රෝගාතූර වෙලා හිටියේ අන්තිම දවස් දෙකේ බෙහෙත් බැදගෙන තමා ගියේ.. අසනීප නිසයි මම ඉදිරිපත් වුණේ නැත්තේ..
අසනීප වෙලා හිටියේ නැත්තම් ඔබතුමා තරග කරනවා ද?
ඔව් අනිවාර්‍යෙන්ම.. මම වැටිලා කොන්ද කැඩිලා හිටියේ.. ඒ අසනීප තත්ත්වය නිසයි ඇත්තටම ඉදිරිපත් නොවුනේ.. මොකද ඇවිදින්න ඕනේ මිනිස්සු ගාවට යන්න ඕනේ ඉතිං අසනීප තත්ත්වයක් එක්ක ඒවා කරන්න බෑ

ඡන්දය ඉල්ලුවා නම් ඔබතුමා දිනයි කියලා හිතනව ද?
මට දිනන්න පුලුවන්.. මම හැමදාම මිනිස්සු එක්ක හිටපු මිනිස්සු අතරට ගිය කෙනෙක්.. මේ පාර ඉලිවේ නැත්තෙත් අසනීප තත්ත්වය එක්ක මිනිස්සු අතරට යන්න බැරි නිසා.. මම දන්න හැටියට අපි එක්කෙනෙක්ට හරි නුවරඑළියෙන් එන්න තිබ්බා..
දේශපාලනය ගැන ඔබතුමාට කිසියම් වූ කලකිරීමක් තියනවද?
දේශපාලනය ගැන කලකිරීමක් නෑ.. දේශපාලනයට ආපු සමහර පුද්ගලයෝ කරන දේවල් ගැන කලකිරීමෙන් ඉන්නේ.. පාර්ලිමේන්තුව ගන්නකෝ පාලිමේන්තුව කියන්නේ උත්තරීතරයි.. රටක ආණ්ඩුව කියන්නේ රටක් පාලනය කරන තැන රටක් පාලනය කරන්න පොතක් තියනවා.. ඒක තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම හිතන්නේ යෞවනයන්ට ඒක තෙරේන්නේ නෑ.. අපි කතාවකට සූදානම් වෙනවා නම් මොන බහුශ්‍රැතියා වුණත් අපිට උපදෙස් මාලාවක් ඕනේ.. ලෝක ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ගෘහනියක්.. හැබැයි නොබැදි සමුළුව ඉදිරියේ සහ රටේ ආර්ථිකය ගැන ගැඹුරින් කතා කරන්න පුලුවන් වුණේ උපදෙස් කමිටුවේ උපදෙස් ලබාගෙන..
ඔබතුමා කියන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා සිදු කළ කතාව සම්බන්ධයෙන් ද?
දැන් පවතින තත්ත්වය තුළ කතා කිරීමේ දී ගන්න ඕනේ ක්‍රියාවලියන්.. අපි ඉගෙන ගන්න ඕනේ අදින්න ඕනේ කොහොමද කන්නේ බොන්නේ කොහොමද කියලා.. ජාත්‍යන්තර සමුළුවකට යනවා කියන්නේ රටයි නියෝජනය කරන්නේ අනුර කුමාර දිසානායක නෙමේනේ යන්නේ.. රටක් නියෝජනය කරන්නේ.. එතනදී ඒ පසුබිම අධ්‍යනය කළ යුතුමයි.. අහිමානය පෙන්විය යුතුමයි..
ඒ කියන්නේ අනුර කුමාර ඒ තැනට සුදුසු නැද්ද?
මම සුදුසු නෑ කියන්නේ නෑ රටේ ජනතාවනේ තීන්දුව දුන්නේ.. නමුත් නුසුදුසෝ වුණත් හදා ගන්න පුලුවන් වෙන්න ඕනේ..
අමෙරිකානු තානාපතිනිය ඔබතුමාලගේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට ආවා.. ඇයි ඇය හදිසියේ ආවේ ?
අපි ලඟට එක පාරක් ආපු එක ගැන අහනවා NPP එකට 10 පාරට වැඩිය ගිය එක අහන්නේ නෑ.. අපි එතුමියගෙන් ඇහුවේ අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකිකයින් 3095ක් ආපහු දිවයිනට එවන්න සූදානම් වීම ගැන. ට්‍රම්ප් එක්ක කතා කරලා යම් එකඟතාවයකට එන්න ඕනේ කියන එක සහ පක්ෂයක් හැටියට ඔවුන්ට උදව් කරන්න ඕනේ කියන එක තමා අපේ ප්‍රධාන අරමුණ.. ඒ ගැන තමා කතා කළේ. ඊළගට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා රාජ්‍ය නොවන සංවිධානවල වියදම් රටට හෙළි කරන්න කියලා මේ ගැනත් කතා කළා. ඊළඟට ට්‍රම්ප්ට සුබ පතන්නත් මේක අවස්ථාවක් කර ගත්තා.
එතුමියට ඔබතුමන්ලා ආරාධනා කලා ද එන්න කියලා? එහෙම නැතනම් එයා කැමැත්තෙන් ආව ද?
එතුමිය තමා එන්නද කියලා අහලා ආවේ මොකද මීට කලින් අපේ පක්ෂයේ මහ ලේකම් කිව්වා ඔබතුමිය මේ අපේ වගේ පක්ෂ කාර්‍යාලවලට එන්නේ නෑනේ.. එහෙම පක්ෂ කාර්‍යාල තියනවා කියලත් මතක තියාගන්න කියලා..මේක දුර දක්නා ඥානයත් එක්ක තවත් රාජපක්ෂ කෙනෙක් අනාගතේ බිහිවෙනවා නේද කියලා දැනගෙන වෙන්නත් පුලුවන් සමහර විට එන්න ඇත්තේ.
ඒ කියන්නේ අපිට අනාගතේ තව රාජපක්ෂ කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් ද?
ඔව් අපි තියාගන්නවා.. අපි ජනතාවටත් ඒක කියනවා..
වෙනසක් බලාපොරොත්තුවෙන් තමා ජනාතාව ඡන්දය දුන්නේ හැබැයි මේ වෙද්දී ජනතාව තුළින්ම අප්‍රසාදයක් ඇතිවෙලා තියෙනවා ඇයි ඒ?
ජනතාව තේරුම් ගත යුතු වෙනවා කල පුරුද්ද දැක පුරුද්ද සහ ක්‍රමවේදය ගැන අධ්‍යනයක් නැති නිසා නේද මෙහෙම වුණේ කියන එක හිතන්න ඕනේ කාල පරිච්චේදයක්.
මේ ආණ්ඩුව විවිධ දුර්වලතා පෙන්වනවා පරිනත දේශපලඥයෙක් හැටියට ඔබට මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නේ?
මට නම් පෙන්නේ මේ ගොල්ලෝ බොහෝ කතා කීව්වට කල පුරුද්දක් දැක පුරුද්දක් පලපුරුද්දක් නැති බවයි. ඒ නිසා තමා මේ කෙටි කාලයකින්ම ආණ්ඩුව බොහෝ අප්‍රසාදයන්ට පත්වෙලා තියෙන්නේ.
ඔබතුමා පංශු සම්පත් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. කෘෂි කර්මාන්තය ගැන ගොවි ජනතාව ගැන අත්දැකීමක් තියන ඔබට වර්තමානයේ රට තුළ ඇති වී තියෙන තත්ත්වය ගැන මොකද්ද කියන්න තියෙන්නේ?
මට ඇත්තටම කලකිරීමක් තියෙන්නේ.. හාල්වල නිෂ්පාදන වියදම මෙච්චරයි කියලා අමුඩේ ගහන් ගියපු අය කිව්වනේ 154ක් නිෂ්පාදන වියදම යනවා කියලා..දැන් ඔය කියපු අයටනේ රට කරන්න භාරදීලා තියෙන්නේ.. කෝ අද 150කටවත් වී ගන්න අවස්ථාව සැලසුවා ද.. වගා පූර්ණ හානිවලටත් නිශ්චිත මිලක් ඇත්තේ නෑනේ..
දැන් බලන්න නොරොච්චෝලේ ලයිට් කපපුවාට මොනාද කිව්වේ කියලා.. දැන් හැම ප්‍රශ්නයකටම රිලව්නේ වග කියන්න ඕනේ.. පොල් ප්‍රශ්නයට වග කියන්න ඕනෙත් රිලව්.. විදුලිය ඇන හිටියත් රිලවෙක් සම්බන්ධ කරනවා. සහල් අඩු වෙන්නට එක හේතුවක් තමයි සත්තු කියලා ජනාධිපතිතුමා කියන්නේ. මෙහෙම රටක කෘෂි කර්මාන්තය දියුණු කරන්න බෑ.. ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ.. පාරිභෝගික ජනතාවට සාදාරණයක් වෙන්නෙත් නෑ..
ළඟ එන පලාත් පාලන මැතිවරණයට ඔබතුමාලා සූදානම් ද?
ඔව් අපි සූදානම්.. ඔයාට මොකක් හරි සැකයක් තියෙනවද? අපි ඉස්සරහාටමයි ගමන් කරන්නේ. පස්සට යන්නේ නෑ.
කොහොමද කියන්නකෝ බලන්න ඔබතුමාලගේ ඔය ඉස්සරහට යන ගමන?
පේදුරුතුඩුවේ ඉදන් දෙවුන්වර තුඩුව වෙනකල් පොහොට්ටුවේ අපේක්ෂකයින් අපි ඉදිරිපත් කරනවා.. ඒ වගේම සන්ධානගත විය යුතු තැන්වල සන්ධානගත වෙන්නත් අපි ලෑස්තියි.. අමතක කරන්න එපා 2018 පළාත් පාලන මැතිවරණය. බලයේ ඉන්න ආණ්ඩුව තිබියදී පොහොට්ටුව එදා අති විශිෂ්ට ජයක් වාර්තා කළා. පක්ෂයක් විදිහට අපි ඉතාම ශක්තිමත්.
ඔබතුමාව අපිට ඉදිරියේදීත් ක්‍රියාකාරී දේශපාලනයේ දකින්න පුලුවන් ද?
ඔව් අනිවාර්‍යෙන්ම මම ඉස්සරහටත් දේශපාලනය කරනවා.. C.B රත්තනායක කවදාවත් ජනතාව අතරමං කරලා පලා යන කෙනෙක් නෙමේ.
අවසාන වශයෙන් ඔබතුමාට ජනතාවට තවත් යමක් කියන්න තියෙනවා ද?
විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබාදීම පිළිබඳව ඔබ තුමියටත් ඔබගේ ආයතනයටත් ඔබත් මමත් අපි හැමෝම ශ්‍රී ලංකා මාතාවගේ දරුවෝ.. අපි වැටි වැටී නැගිටපු මිනිස්සු. අපි පාටක් පක්ෂයක් බැලුවේ නෑ.. වැටිච්ච හැම තැනකම අපි එකාවගේ නැගිට්ටා..ඒ නිසා මේ මාතෘ භූමිය බේරා ගන්න පාට පක්ෂ බේදයක් නැතුව එකට පෙළගැහෙමු.. නියම නායකත්වයක් එක්ක අපි ගොඩනැගෙමු.. බොරුව නැති දේශපාලන පක්ෂයක් එක්ක අපි පෙලගැහෙමු.. කරන දේ කියන කියන දේ කරන පක්ෂයක් හැටියට පොහොට්ටුව ඉස්සරහට යනවා.. ඔබත් ඒ සමග අත්වැල් බැදගන්න සූදානම් වෙන්න..
source :- https://tinyurl.com/y62etupa








