USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන මගින් ලොව පුරා සිදුකරන ආධාර වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා දැඩි සීමා පැනවීමත් සමග අමෙරිකානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක් අඩාල විය හැකි බවට විද්වතුන් අනතුරු අඟවනවා.

ඔවුන් අවධාරණය කරන්නේ, මෙරට අමෙරිකානු තානාපතිනිය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලබා දුන් පොරොන්දු මත ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘතිද අතරමග නතර විය හැකි බවයි.

2025 පෙබරවාරි 07 වැනිදා රාත්‍රී 11.59 සිට ක්‍රියාත්මක වන පරිදි ලොව පුරා සිටින සියලුම USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කාර්යමණ්ඩලය නිවාඩු යැවීමට තීරණය කළ බව එහි පරිපාලනය පසුගිය දා නිවේදනය කළා.

1961 නොවැම්බර් මස 3 වැනිදා USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ආරම්භ වන්නේ පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේ විනාශයට පත් වූ රටවල් සඳහා ආධාර දීමේ අරමුණින්.

ඒ ජෝන් එෆ් කෙනඩි හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන්.

USAID ලොව විශාලතම ආධාර සපයන ආයතනය වන අතර 2023 මූල්‍ය වර්ෂය තුළ පමණක් ලොව පුරා රටවල් රැසකට අමෙරිකානු ඩොලර් බිලියන 72ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

2024 වසරේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර වැඩසටහන් සඳහා 42%ක පරිත්‍යාග සිදුකර ඇත්තේ ද USAID ආයතනයයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් නව විධායක තීන්දුවලට අනුව දැනටමත් විදේශ ආධාර සඳහා දැඩි සීමා පනවා ඇති පසුබිමක ලොව පුරා අමෙරිකානු ආධාර යටතේ සිදුවන බොහෝ ව්‍යාපෘති නතරකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙරට විද්වතුන් පෙන්වා දෙන්නේ ඇමරිකානු ජනාධිපති වරයාගේ මෙම තීරණයත් සමග මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට හා මෙරට ආර්ථිකයටද සැළකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බවයි.

source :- https://tinyurl.com/2vuzb2rt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here