
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා අද (28) එම නඩු විභාගයෙන් ඉවත්වුණා.
මෙම පෙත්සම අද මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා සඳහන් කළේ තමන් මෙම නඩුවේ විභාගයෙන් ඉවත්වන බවයි.

මෙම නඩුවට අදාළව විනිසුරු අමල් රණරාජා මීට පෙර නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන බැවින්, ඔහු මෙම නඩුවේ විභාගයෙන් ඉවත්වන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මායාදුන්නේ කොරයා ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ නඩුව නව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ මස 31 වන දා කැඳවීමට නියමිතයි.
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා.
එබැවින් නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.








