රජයේ සහ පළාත් සභාවල සේවය කරන රාජ්‍ය නිළධාරීන් පිළිගත හැකි තර්කානුකූල නොවන මට්ටමින් සේවා ස්ථාන මාරුකිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේ, පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, පළාත් පාලන ආයනත ලේකම්වරුන් මෙන්ම, සමූපාකාර සහකාර සංවර්ධන කොමසාරිස්වරුන් වැනි මාණ්ඩලික මෙන්ම ක්ෂේත්‍ර නිළධාරීන්ටද මෙය බලපා ඇති බවයි.

නුදුරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් මධ්‍යයේ මෙම මාරු කිරීම් සිදුකර ඇති අතර, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස හැසිරීම් ගැටලු සහගත බවද අදාළ නිවේදනයේ සදහන්.

මෙවැනි සිදුවීම් පිළිබද සොයාබැලීම සදහා විශේෂ ඒකකයක් පිහිටවන බවද සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කළා.

මේ අතර, ආණ්ඩුව දේශපාලන පලිගැනිම් ලෙස වෘත්තීය සමිති නියෝජිතයින් මර්දනය කිරිම සදහා කටයුතු කරමින් සිටින බවට පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය චෝදනා කළේ, අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

source :- https://tinyurl.com/ysy9xdsw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here