21 වැනි සියවසේ වඩාත් බිහිසුණුම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකෙන සුනාමි ඛේදවාචකයට අදට වසර 20ක් සපිරෙනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා, සිදු වූ එම ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයින් 35,000කට අධික පිරිසකට දිවි අහිමි වුණා.

අදටත් සිත් සසල කරවන ඒ සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූවන් සිහි කරමින් පෙරවරු 9.25 සිට 9.27 දක්වා රටපුරා නිශ්ශබ්දතාවක් පැවැත්වුණේ අදට යෙදෙන ජාතික සුරක්ෂිත දිනයට සමගාමීවයි.

මේ අතර, ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ දී අද පැවැත්වුණේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික රියර් අද්මිරාල් සම්පත් තුයියකොන්තාගේ සහභාගීත්වයෙන්.

පුද්ගලයින් 1,700කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ පැරෑලිය දුම්රිය අනතුරට මුහුණ දුන් දුම්රියේ එන්ජිම සහිත විශේෂ දුම්රිය අදත් පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළා.

එය තෙල්වත්ත – පැරෑලිය ප්‍රදේශයට ළඟා වුණේ සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ පුද්ගලයින් සිහි කරමින්.

මේ අතර, සුනාමි ඛේදවාචකයේ 20 වැනි අනුස්මරණය අද පෙරවරුවේ ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය ඉදිරිපිට දී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව පැවැත්වුණේ දිවි අහිමිවූ පුද්ගලයින්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.

එසේම, බේරුවල නගරයේ ඉදිකර ඇති සුනාමි ස්මාරකය අභියස දී සැමරුම පැවති අවස්ථාවේ එම ස්මාරකය අභියසට කිසිදු පොලිස් නිළධාරියෙකු පැමිණි නොසිටි බව හිරු ප්‍රාදේශිය වාර්තාකරු සදහන් කළා. ඒ මොහොතේ අවට ජනතාවද නිශ්ශබ්දතාවය නොතකා කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, සුනාමි ඛේදවාචකයේදී අතුරුදන්ව සිට දින 52කට පසුව හමුවූ , මව්වරුන් 09 දෙනෙකු හිමිකම් කීම හේතුවෙන් බේබි 81 ලෙස ප්‍රසිද්ධියට පත් මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන ජෙයරාසා අභිලාෂ් ද මඩකලපුවේ පිහිටි සිය නිවසේ දී පහන් දල්වා එම ඛේදවාචකයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරනු ලැබුවා.

එමෙන්ම, මෙම සුනාමි ව්‍යසනයෙන් මව් සෙනෙහස මෙන්ම ජීවිතයේ පිළිසරණක් වියහැකි සෑම දෙයක්ම තමන්ට අහිමි වූ බව ශ්‍රි ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා රන්දිකා කුමුදුමාලි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

source :- https://tinyurl.com/4myvn4p6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here