කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අද (24) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි පසුවයි.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ලෙස හඳුන්වා ගත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බව පවසමින් සුනිල් හඳුන්නෙත්ති පැමිණිල්ල යොමු කළා.

ඒ අපරාධ පරීක්ෂණ මූලස්ථානයට සාක්ෂි සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින්.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ,

මහජන නියෝජිතයෙක් මෙන්ම වගකිවයුතු අමාත්‍යවරයෙක්ද වන තමා වැනි අයව පවා භාවිතා කරමින් මෙවැනි වංචාවන් නොබියව සිදුකරනවා. එවැනි පසුබිමක සාමාන්‍ය පොදු මහජනතාව මෙවැනි වංචාකරුවන්ගේ ඉලක්ක බවට පහසුවෙන්ම පත්වීමේ හැකියාවක් පවතිනවා. නීතිය සැමටම පොදු බවත් දැනට ලංකාවේ ක්‍රියාත්මක නීතිය මෙවැනි වංචාකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට ප්‍රමාණවත් වෙනවා. තමාට මෙන්ම මෙවැනි වංචාවන්ට හසුවූ අනෙකුත් අය වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව මා විශ්වාසය තබනවා.
එසේම ජනවාරි 5 වැනිදා Zoom තාක්ෂණය ඔස්සේ ජන හමුවක් මෙම වංචාකරුවන් විසින් සංවිධානය කර තිබෙනවා යනුවෙන්.

මේ වන විට එය ප්‍රචාරය වන බවත් එවැනි ජන හමුවක් තමා හෝ තම පක්ෂය විසින් සංවිධානය නොකළ බවයි හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම තමා නමින් මුදල් ඉල්ලන මෙවැනි වංචාකරුවන් හට මුදල් ලබාදීමෙන් වළකින ලෙස සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි‍යා.

source :- https://tinyurl.com/htauk825

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here