කොවිඩ්-19 වෛරස ව්‍යාප්ති සමයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොමැති සමාගමකින්, රුපියල් මිලියන 2000කට අධික වටිනාකමකින් යුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට අනාවරණය කළා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති දිවැස ෆාමා කලම්බු නම් සමාගමකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 2ක සංඛ්‍යාවක් මිලදීගෙ ඇති බවයි.

එහි දී අදාළ සමාගම එක් ඇන්ටිජන් කට්ටලයක් සඳහා රුපියල් 1146 සිට 937 දක්වා මුදලකට මිල දී ගෙන තිබෙන බව අමාත්‍යවරයා පැවසුවා.

මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200ක් බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සමාගම 2021 ජුනි 01 වැනි දා අදාළ සමාගම ලියාපදිංචියට අවසර ඉල්ලා තිබුණත් ඒ සඳහා වන සුදුසුකම් සපුරා නැති හෙයින් එය ලියාපදිංචි කර නොමැති සමාගමක් බවයි.

ඒ අනුව මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවා.

කෙසේ නමුත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අනාවරණය කළේ, අදාළ කාල වකවානුවේ දී රුපියල් මිලියන 6442ක් වැයකරමින් PCR සහ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කර ඇති බවයි.

source :- https://tinyurl.com/543fj973

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here