
කථානායක අසෝක සපුමල් රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායම සූදානම් වන අතර, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද (13) ආරම්භ කෙරුණා.
සමගි ජන බලවේගය සඳහන් කරන්නේ වත්මන් කතානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්ව ගරු කතානායක ධුරයට තෝරා පත් කර ගන්නා අවස්ථාවේදී ද කතානායක ධුරයේ රාජකාරී භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් රසායනික ඉංජිනේරු විද්‍යා පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමඟ ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති නිසා ද මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ලවන අවස්ථාවේ දී හා තොරතුරු විමසීමේ දී නිහඩව සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ 3 වැනි කොටසේ 6 වැනි වගන්ති ප්‍රකාරව සහ එම ආචාරධර්ම සංග්‍රහයේ 5 වැනි කොටසේ චර්යා රීතිවලට අනුව එම රීති උල්ලංඝනය කර ඇති නිසා සහ පාර්ලිමේන්තුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඔහු විසින් සෘජුවම ප්‍රධානීත්වය දරණ අනෙකුත් උත්තරීතර ආයතන පිළිබඳ විශ්වාසය කඩකර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පියවර ගනු ලබන බවත් එම නිවේදනයේ සඳහන්.

එම විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුනාතිලක, පා.ම. ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කර තිබෙනවා.
source :- https://tinyurl.com/yy6w8whm










