පාකිස්ථානයේ වෛද්‍ය නගරයක් ස්ථාපිත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කිරීමට චීන ව්‍යාපාරික නියෝජිතයින් කැමැත්ත පළ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානය චීනය විශ්වාස කළ හවුල්කරුවෙකු ලෙස සලකන අතර, චීනය පකිස්ථානයේ ආර්ථිකය සඳහා “ජීවන මාර්ගයක්” ලෙස හඳුන්වනු ලබන චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝ (CPEC) ව්‍යාපෘතිය වැනි බොහෝ ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘති සමග කටයුතු කරනවා.

කෙසේ වෙතත්, නව ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයින් පිරිසක් මේ දිනවල පාකිස්ථානයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ජනාධිපති සර්දාරි කරච්චි හි බිලාවල් හවුස්හිදී චීන කොන්සල් ජනරාල් යැං යුන්ඩොං ප්‍රමුඛ දූත පිරිසක් හමු වී ඇති අතර, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම සඳහා පාකිස්ථානයේ විවිධ අංශ සඳහා වැඩි චීන ආයෝජනයක් ඉල්ලා ඇතැයි සඳහන්.

එහිදී රටේ සෞඛ්‍ය සේවා අංශයේ දියුණුව සඳහා පාකිස්ථානයේ වෛද්‍ය නගරයක් පිහිටුවීම සඳහා ඩොලර් බිලියන 1ක් ආයෝජනය කිරීමට නියෝජිත පිරිස කැමැත්ත පළ ක‍ර ඇතැයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා,

පාකිස්ථානයේ ආර්ථිකයේ විවිධ අංශවල, විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, පශු සම්පත්, බලශක්තිය, ප්‍රවාහනය සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ද නියෝජිත පිරිස කැමැත්ත පළ කර ඇතැයි සඳහන්.

පාකිස්ථානය යනු මේ වනවිටත් අධික ණය බරින් මිරිකී සිටින රටක්.

ලෝක බැංකු වාර්තාවකට අනුව, චීනය පකිස්ථානයේ විශාලතම ණය දෙන්නා වන අතර, චීනයට පකිස්තාන‍යෙන් අහවිය යුතු ණය ප්‍රමාණය පාකිස්ථාන රුපියල් බිලියන 29කට ආසන්න බව සඳහන්.

එමෙන්ම පාකිස්ථානයේ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 22ක කොටසක් හිමි තනි විශාලතම ණය හිමියා වන්නේ ද චීනයයි.

source :- https://tinyurl.com/2sn4fef3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here