
තමන් ලබන නොවැම්බර් මස 10 වැනිදා තෙක් විදේශගත නොවන බව ධූරයෙන් ඉවත් කළ හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතරදෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.
හිටපු සුරාබදු කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් විදේශගත වීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මෝසමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ.
එම අවස්ථාවේදී පෙත්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ, වගඋත්තරකාර සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව අදාළ තනතුරෙන් මේ වන විට ඉවත් කර ඇති බවයි. මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එය පැහැර හරිමින් අලූතින් බලපත්‍ර නිකුත් කිරිමට ඔහු ධුරයේ සිටියදී කටයුතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙම වග උත්තරකරුවන් පිරිස විදේශගත වීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බැවින් ඔවුන්ගේ විදේශ ගමන් වලක්වාලන අතුරු නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් නීතිඥවරයා අධිකරණයට දන්වනු ලැබුවා.
එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින්ට විදේශගත වීමට අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන්නා.
නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු විසින් අදාල පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ.ගුණසිරි, එහි අතිරේක අධ්යක්ෂ ජනරාල්වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් තිබෙනවා.
source :- https://tinyurl.com/4k3zmmpf








