ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගැන්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කර සිටියා.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර තිබෙනවා.

එමෙන්ම පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කාර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවලටද සහයෝගය දක්වන බව ඇමෙරිකානු එක්සත් ජනපදය සඳහන් කර සිටියා.

දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල් වලටද ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/ydbfn442

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here