ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ (Andres Marcelo Gonzales Gorrido) අද (02) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක නිරතව තිබෙනවා.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳවයි මෙම හමුවේදී අවධානය යොමුව ඇත්තේ.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රශංසා කළ මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව මෙහිදී සහතික වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහිදී පෙන්වා දුන් මෙරට කියුබානු තානපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/mu3uk3wx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here