ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දු කළේය.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 04 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.

නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුන්ට මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටින්නේ, ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල මහජනතාවට අනතුරුදායක උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට පොලීසිය කටයුතු කළ බවය.

මෙවැනි අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 05ක වන්දියක් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

source :- https://shorturl.at/D2Am5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here