ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවයි කියා සිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය ක‍ර තිබෙනවා.

යුද්ධය නිසා අවතැන් වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

එමෙන්ම උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවද මෙහිදී ඔහු පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේ ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයින් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තු වන බැවින් සංචාරකයින් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනා ගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම ධීවර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන් මැදිහත්වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිතා කරන පළාත වශයෙන් උතුරු පළාත හඳුනා ගෙන ඇති බවත් මේ වන විට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නව ජල ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන කරන බවද පවසා තිබෙනවා.

source :- https://tinyurl.com/3f36jvya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here