නව කථානායකවරයා කවුරුන්ද යන්න පිළිබදව අද (16) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු තීරණය කරන බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දේවානන්ද සුරවීර පවසනවා.

ආචාර්ය උපාධිය පිළිබඳ මතුවූ අර්බුදය හමුවේ අසෝක රන්වල පසුගියදා බදාදා කථානායක ධූරයෙන් ඉල්ලා අස් වුණා.

අධ්‍යාපන සුදුසුකම් තහවුරු කරනතුරු තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

පසුගිය මස 21 වනදා අභිනව පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී අසෝක සපුමල් රන්වල කථානායකවරයා ලෙස තේරීපත් වූණා.

එවන් පසුබිමක කථානායක අසෝක රන්වලට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබා ගැනීම ද පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.

කෙසේ වෙතත් නව කථානායකවරයා පිළිබඳව අද පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු තීරණය කරන බවයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දේවානන්ද සුරවීර සදහන් කළේ.

මේ අතර, අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා මීළඟ පාර්ලිමේන්තු දිනයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නමක් ද යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.

එමෙන්ම මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජාතික ජනබලවේග රජයේ නව කථානායක ධූරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කිරීමේ සැලැස්මක් පවතින බවයි.

පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තරග කර මනාප ඡන්ද 51,391ක් ලබාගනිමින් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියා.

නව කථානායකවරයා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී තෝරා පත් කර ගැනීමට නියමිතයි.

source :- https://tinyurl.com/nh47n4hm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here