කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිඛිතව දන්වා තිබෙනවා.

10 වැනි පාර්ලිමේන්තුවේ 12 වැනි කථානායකවරයා ලෙස තෝරා පත්කරගනු ලැබූ අසෝක රන්වල ඊයේ කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව ඇති පසුබිමකයි.

මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් අශෝක රන්වල සඳහන් කළේ සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ගැටලු‍වක් මතුව තිබුණත් තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් කථානායකවරයා ලෙස තමා ප්‍රකාශ කර නොමැති බවයි.

ඒ අනුව කතානායකවරයා සිය අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා.

කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන පදවිවලින් කවර හෝ පදවියක් දරන්නෙකු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැට හතර දෙක ව්‍යස්ථාවට අනුව සිය අත්සනින් යුතු ලිපියකින් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගන්නේ නම් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතුවනවා.

අශෝක රන්වල පසුගිය මස 21 වැනිදා කථානායක ධුරයේ දිවුරුම් දුන් අතර ඊයේ ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන විට ධුරයේ කටයුතු කර තිබුණේ දින 22ක් පමණයි.

ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ කටයුතු කළේ අසෝක රන්වලයි.

එසේම කෙටිම කාලයකින් ඉල්ලා අස්වූ කථානායකවරයා ලෙසද අශෝක රන්වල ඉතිහාස ගතවනු ඇති.

source :- https://tinyurl.com/yhtakp7n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here