පසුගිය ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමට තිබූ කාලය අදින් වනවා.

ඒ අනුව අද (13) පස්වරු 3 ට පෙර මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එසේම ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව රැස්ව අදාළ තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බව ඔහු අප කල විමසීමකදී වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, මෙතෙක් එම වියදම් වාර්තා ලබා දී ඇත්තේ අපේක්ෂකයින් 13 දෙනෙකු පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109කට සීමා කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව එක් අපේක්ෂකයෙකුට සියලු‍ම ඡන්දදායකයින්ට වියදම් කළ හැකි මුදල ලෙස දැක්වුණේ රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූඅටදහස් පන්සිය අසූ හයක්.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලු‍ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත ලබාදිය යුතු බව දැනුම් දී තිබුණා.

source :- https://tinyurl.com/muu6dsk8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here