අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අද (19) උදෑසන ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් සිය අදහස් දැක්වූවා.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පාතාලයේ සිදුවන කටයුතු ආණ්ඩුව බරපතල ලෙස සලකන බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බවත්.

එමෙන්ම පාතාලය, කළු සල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් මෙයට සම්බන්ධ බවත්, මෙයට සම්බන්ධ ඇතැම් අය පිටරට සිට මේවා මෙහෙයවන බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම ක්‍රියාවලියට ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින්, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බුද්ධි අංශය යොදවා ඇති අතර, එම නිසා මේ සම්බන්ධයෙන් ගැඹුරින් කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර, මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙසේ සඳහන් කළා,

”මේ අවස්ථාව වෙනකොට අලුත්කඩේ උසාවියේ ලෝයර් කෙනෙක් විදියට ඇවිල්ලා වෙඩි තියලා ගියා කෝට් නම්බර් ෆයිව් එකේ. ඊයේ රාත්‍රියේ ළමයි දෙන්නෙක් එක්ක මිද්දෙණියේ වෙඩි තියලා. මේ අද උදේ දැන් සිද්ධ වුණේ. ඉතින් මේ මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක්. කෝට් එකක් ඇඳගෙන ලෝයර් කෙනෙක් විදිහට ඇවිල්ලා වෙපන් එක අරන් වෙඩි තියලා ගියා කථානායකතුමා. මේක විශාල ප්‍රශ්නයක්. මේක විහිළු කතාවක් නෙමෙයි. ගනේමුල්ලේ සංජීව කියලා පාතාල කෙනෙක්. ඒක වෙනම කාරණයක්. ඔහුව වෙන විදිහට තමයි සාක්ෂි විමසමින් හිටියේ. හැබැයි අද ඔහුව ගෙනාවා ගෙනල්ලා සාක්ෂි විමසුවා විනිශ්චකාරතුමා.

එතකොට වෙඩි තියලා මරලා දැම්මා. ආවේ ලෝයර් කෙනෙක් විදියට. ඉතින් නීතිඥවරුත් කිසිම ආරක්ෂාවක් නැති තැනට පත්වෙලා තියෙනවා. ඉතින් මේ පොලිස්පතිතුමා, ජනාධිපතිතුමාත් ඉතාම හොඳින් කතා කරා. නමුත් මේ මරණ මේ ටිකටම මරණ හැත්ත අටකට වැඩියි කථානායකතුමා.

ඉතින් මං හිතන්නේ මේ ගැන බරපතලව අපි කල්පනා කළේ නැත්නම් මේක කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බෑ. මම හිතන්නේ ඉතාම සුළු කාරණයක් බවට පත්වෙලා තියෙනවා දැන් අද මිනිහෙක් මරලා දාන එක. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේක ගැන අපි බරපතලව පාර්ලිමේන්තුවේදී කල්පනා කරන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්න කැමතියි.”

source :- https://tinyurl.com/bdfhr5ss

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here