
දකුණු කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 25 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ සෙසු වග උත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ අධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 25 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියා.
ඉකුත් රජය සමයේ දකුණු කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ද්වේශ සහගත සහ අනිතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.








