
2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මෙම සිද්ධියට අදාළ නඩුකරය පිළිබඳව 2015 වසරේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති අතර, ඊට අදාළව පෙත්සම්කරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් මහේස්ත්රාත්වරයාට ලබා දී තිබෙන බවත් සඳහන් කළා.

එමෙන්ම මෙම පෙත්සම්කරු විසින් කරුණු වසන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් මෙම නඩුකරය පවතින්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බවත් සඳහන් කළා.
මෙහිදී පෙත්සම්කාර ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2015 වසරේ ගොනු කෙරුණු මෙම නඩුකරය සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය 2025 වසර දක්වා බලා සිටියේ ඇයි දැයි විමසුවා.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින හෙයින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර පතන බවත් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම සුදුසු අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාල අපේක්ෂිත ඇප අයදුම් පත ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.








