තාක්ෂණික ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ දරුවන් දෙදෙනා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පංචතන්ත්‍රය පිළිගන්වා ඇති පුවතක් හා ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඊයේ (13) වොෂින්ටනයේ බ්ලෙයාර් මන්දිරයේ දී එලොන් මස්ක් ඔහුගේ පෙම්වතිය වන ෂිවොන් සිලිස් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා හමු වූ අවස්ථාවේදීයි.

එහි දී මස්ක්ගේ නිවුන් දරුවන් දෙදෙනා වෙත නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත ‘අඩ සඳ’ (The Crescent Moon), ආර්. කේ නාරායන්ගේ කතා එකතුව සහ පණ්ඩිත් විෂ්ණු ෂර්මාගේ ‘පංචතන්ත්‍රය’ යන ඉන්දීය සාහිත්‍යයේ සුප්‍රකට ග්‍රන්ථ තුන තෑගි කර තිබෙනවා.

මස්ක්ගේ දරුවන් වෙත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ පොත් තෑගි කිරීමේ අවස්ථාව සිය X හි ද බෙදාගෙන ඇති අතර එම පින්තූරවල, මස්ක්ගේ දරුවන් මෙම පොත් කියවමින් සිටිනු ද දක්නට ලැබෙනවා.

එලෝන් මස්ක් 2021 වසරේ දී සිය නියුරලින්ක් සමාගමේ විධායක නිලධාරිනියක වූ ෂිවොන් සිලිස් සමග නිවුන් දරු දෙදෙනෙකුට උපත දුන් අතර කළකට පසුව තවත් දරුවෙකු සමග ඔවුන් පෙනී සිටි‍යා.

ලෝකයේ ධනවත්ම පුද්ගලය ලෙස සැලකෙන එලෝන් මස්ක් දරුවන් 12 දෙනෙකුට පියෙකු වී ඇති අතර ඔහුගේ හිටපු බිරිඳ වන ජස්ටින් මස්ක් සමඟ ඔහුගේ පළමු දරුවා බිහි කළත් එම දරුවා සති 10ක් තුළ දී හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමයෙන් මිය ගියා.

පසුව මෙම යුවළට IVF භාවිතයෙන් දරුවන් පස් දෙනෙක් සිටි අතර නිවුන් දරුවන් වන ග්‍රිෆින් සහ විවියන් සහ පසුව ත්‍රිත්ව නිවුන් දරුවන් වූ සැක්සන්, ඩේමියන් සහ කායි හට උපත දී තිබෙනවා.

ඉන්පසු මස්ක්ගේ ආදරවන්තිය වූ සංගීතඥවරියක ග්‍රයිම්ස් හෙවත් ක්ලෙයාර් බවුචර් සමග තවත් දරුවන් තිදෙනෙකුට උපත දුන් අතර ඔවුන් තම දරුවන්ට “X” – Extra Dark Siderael, “Y” සහ “Tau” (Techno Mechanicus) ලෙසින් නම් කර තිබුණා.

source :- https://tinyurl.com/5n8jtac3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here