
ත්‍රිකුණාමලය, කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක්, රුපියල් කෝටි හතර හමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු එම වාලම්පුරි ද සමඟ ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිසියම් පිරිසක් වාලම්පුරි 04ක් අලෙවි කිරීමට සූදානම් වන බවට ලැබි තිබූ තොරතුර අනුව, ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයින් ලෙස වනජීවි නිලධාරීන් පිරිසක් වෙස්වලාගෙන ගොස් තිබෙනවා.
ඒ අනුව, ව්‍යාපාරික වෙසින් පෙනී සිටි වනජිවී නිලධාරීන්ට එම වාලම්පුරි 04 රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට සැකකරුවන් එකඟව ඇති අතර, ත්‍රීකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථානයකදී ඒවා අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිලාවේලි හා වව්නියාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33, 38 හා 45 යන වයස්වල පසුවන්න බවත්, ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් නිලාවේලි වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කළා.
source :- https://tinyurl.com/3fmm8792







