මෙරට පළමු දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වාගේ මැදිහත් වීමෙන් ආබාධ සහිත පුද්ගල සංවිධාන ගණනාවක නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන්.

එම සංවිධාන මගින් තම ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඊට විසඳුම් ඇතුළත් යෝජනාවලියක් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනූව එහි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

ආබාධ සහිත පුද්ගලයින්ගේ පහසුව සඳහා භාවිත කරනු ලබන ආධාර උපරකණ රාශියක් ඔවුන් විසින් හඳුනාගෙන, ඒවාට ඇති බදු පිළිබඳ සොයා බලන ලෙසයි ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

2012 ජන හා නිවාස සංගණනයට අනුව මෙරට ආබාධිත ජනතාව ලක්ෂ 17ක්.

අනතුරුව වසර 13ක කාලයක් තුළ එම සංඛ්‍යාව විශාල ප්‍රමාණයකින් වෙනස් විය හැකි බැවින් ඒ පිළිබඳව දත්ත යාවාත්කාලීන කිරීම සඳහා මැදිහත් වන ලෙසද ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ආබාධිත ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් නීති සම්පාදනය කර ඇති නමුත් ඒවා ක්‍රියාත්මක වීමේදි යම් යම් ගැටලු පැන නැගුණු බවයි ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ.

පොදු ස්ථානවලට පිවිසීමේදී ආබාධිත පුද්ගලයින්ට ලබා දී ඇති පහසුකම් ඉහළ දැමීමේ අවශ්‍යතාවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ආබාධිත ප්‍රජාව මුහුණ දෙන අපහසුතා සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

ඒ සඳහා අදහස් ලබා ගැනීමට සුදුසු ක්‍රමයක් ආබාධිත ප්‍රජාව නියෝජනය කරන පිරිසගේ සහභාගීත්වය ඇතිව සකස් කෙරෙන ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව ඉදිරි වැඩ කටයුතු සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

මේ අනූව ආබාධිත ප්‍රජාවට අවශ්‍ය ආධාර උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ඇති බාධාවන් පිළිබඳව සොයා බලන ලෙසත් ඒ සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අවධාය යොමු කරන ලෙසයි එම ප්‍රජාව ඉල්ලා සිටියේ.

මේ අතර එහිදී එම උපකරණවල විධිමත් ලැයිත්තුවක් සකස් කිරීම සහ ඊට අදාළ රේගු කේතාංග හඳුනාගැනීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ද ලබා දී තිබෙනවා.

source :- https://tinyurl.com/bdz6tzm4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here