ඉකුත් වසරේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැති අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ විරෝධතාවක නිරතව සිටි ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයින්ට ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු පොලිසිය විසින් අවසන් කර වාර්තා ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාල පොලිස් ප්‍රහාරය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය ආචාර්ය. හරිනි අමරසූරිය ඇතුළු කාන්තාවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මෙම දැනුම් දීම සිදුකළා.

මෙම පෙත්සම අද එස්.තුරෙයි රාජා , අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව පොලීසිය විසින් විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් කොට පරීක්ෂණ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි.

එම වාර්තා අධ්‍යයනය කර ඉදිරි පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු ද සඳහන් කළේ වග උත්තරකරුවන් මීළඟ දින සිය ස්ථාවරය දැනුම් දීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම පෙත්සම අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසද අධිකරණය නියෝග කලා.

ඉකුත් වසරේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සැලකිය යුතු ආකාරයට කපා දැමීමට රජය ගනු ලැබූ තීරණයට එරෙහිව තමන් පාර්ලිමේන්තු පොල්දූව මංසන්ධියේ සාමකාමී විරෝධතාවක නිරත වූ බව පෙත්සම ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනී අමරසූරිය ඇතුළ ජාතික ජන බලවේගයේ සාමාජිකාවන් පවසා සිටියා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිසි වල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිසාව භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයා , නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කර සිටිනවා.

source :- https://tinyurl.com/2kwsv47v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here