
රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි වුණා.

රජයේ රෝහල් වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් කිරීමත්, එම සේවාවන් ඉටු කරන කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීම පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා.
මේ වන විට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව සඳහන්.
අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තව දුරටත් පුලුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී.ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
source :- https://tinyurl.com/3rfy5ned







