
පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක් සඳහා පසුගියදා නව සභාපතිවරුන් පත් කෙරුණා.
ඒ අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට සහ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයටයි මෙසේ පත් කිරීම් සිදු කර ඇත්තේ.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදුව තිබෙනවා.
එහිදී ඵම කාරක සභාවේ සභාපති ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝජ් රාජපක්ෂ සහ අජිත් ගිහාන් යන අය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායකගේ නම යෝජනා කර ස්ථිර කර තිබුණා.
එහිදී වෙනත් කිසිදු නමක් යෝජනා නොවූ බැවින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක තේරී පත් වූවා.
මේ අතර පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම පසුගිය 24 වනදා තේරී පත්ව තිබෙනවා.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සදහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදීයි ඔහු මෙසේ තෝරා පත්කරගෙන ඇත්තේ.
සභාපතිධුරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුමගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි යන අය විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කර තිබෙනවා.
තවද, අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්රීවරියන්වන (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන අයගේ යෝජනා ස්ථිරත්වයෙන්.
source :- https://tinyurl.com/5n8ucyyk








