අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යටතේ විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කට වඩා පහළට ගැනීම සඳහා සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

ඉකුත් සතියේ අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.

නමුත් පසුව ශ්‍රී ලංකා රජය සහ අදානි සමාගම යන දෙපාර්ශවයම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය අවලංගු නොකරන බවයි.

මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල සුළං විදුලිබලාගාර දෙකක් ඉදිකිරීම සඳහා අදානි සමූහයේ, ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාව සමග ගිවිසුම්ගත වීම වෙනුවෙන් පසුගිය වසරේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ යටතේ අදානි සමාගම විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් සත 8.25ක මිලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව මෙම ව්‍යාපෘති ප්‍රදානය කිරීම මත එකී ඉහළ ඒකක මිලක් ගෙවීම මතභේදයට තුඩු දී තිබෙනවා.

ඒ හේතුවෙන දැනට මෙම ව්‍යාපෘති දියත් කිරීම ඇණ හිට ඇති අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ එම මිල අඩු කරගත හැකි බවට විශ්වාස කරන බවයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස,

“අපි රජයක් විදියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයකට අරගෙන යන්න තමයි මේ සාකච්ඡා දියත් වෙමින් තියෙන්නේ. මං හිතන්නේ රජයක් හැටියට, රටක් හැටියට ඒක අපි අත්පත් කරගත යුතු තත්ත්වයක්. මේ ව්‍යාපෘතිය නෙමෙයි කැන්සල් වෙන්නේ. ව්‍යාපෘතියට 2022 තමයි මුලින්ම එකගතාවය පළකරලා, සාකච්ඡා ආරම්භ කරලා තිබුණේ. ව්‍යාපෘතියේ විදුලිය මිල දී ගැනීම සම්බන්ධව තමයි මේ සාකච්ඡාව දියත් වෙමින් තියෙන්නේ. අපි රජයක් හැටියට උත්සාහ කරමින් ඉන්නවා රටට වාසියක් වෙන ආකාරයට ඒ මිල ගණන් සංශෝධනය කරගන්න. පුනර්ජනනීයම කිව්වාට හරියන්නේ නැහැ. පුනර්ජනනීය කියන එකේ රටට ලාභයක් තියෙන්නේ ඕනේ. ඒකෙන් පරිසරයට වෙන හානය පමණක්ම නොවෙයි අපි සලකන්නේ, රයේ ජනතාවට සහ ආර්ථිකයට වෙන බලපෑමත් සැලකිල්ලට ගන්නවා. අපේ මැදිහත්වීම තියෙන්නේ මේක තව ප්‍රමාණයකට අඩුකරගන්න. අඩුකරගන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා.” යැයි පැවසුවා.

source :- https://tinyurl.com/v366rdw6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here