
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ගෙන එනු ලැබූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර, එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වා ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි මේ පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබෙන්නේ.

මේ අතර, 2002 අංක 24 දරන සුබසාධන ප්රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් ද මෙහිදී සලකා බැලීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, මෙම වසර අවසන්වනතෙක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිත ප්රතිලාභ සඳහායි කාරක සභාවේ අනුමතිය හිමිව ඇත්තේ.
එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත්, රුපියල් 8,500 ලබාදෙන පවුල් සඳහා රුපියල් 10,000ක් ලබා දීමටත්, රුපියල් 2,500ක් ලබාදෙන පවුල් සඳහා රුපියල් 5,000ක් ද රුපියල් 5,000ක් ලබාදෙන පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
source :- https://tinyurl.com/2m83az27







