සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරතවෙනවා.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) , චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang)  ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතයි.

එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක , තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.

එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන්.

source :- https://tinyurl.com/mvs7f3ac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here