ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට අපහාසාත්මකවන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.

සැකකරු විසින් ලිංගික අඩම්තේට්ටම් සිදුවන ආකාරයෙන් පල කරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් පැමිලිකාරිය දැඩි මානසික පීඩාවට ලක් වූ බවත් මේ හේතුවෙන් ඇයට සායන වලට පවා යොමුවීමට සිදුවී ඇති බවත් එම නිලධාරීන් දැනුම් දුන්නා.

මෙම සැකකරු පැමිලිකාරිය සම්බන්ධයෙන් පෝස්ටු පළ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මීට පෙර 04 වතාවක් පමණ මේ ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙන බවත් එම නිලධාරීන් සඳහන් කර සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයා දැඩි කණගාටුවට පත්වන බව පැවසුවා.

සැකකරු විසින් මෙම පෝස්ටුව ප්‍රදර්ශනය කළේ විනාඩි අටක් පමණක් බවත් ඉන් පසුව එය ඉවත් කරගෙන ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස සැකකරුට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජනවාරි මස 30වනදා කැඳවීමටද නියම කළා.

source :- https://tinyurl.com/3rec9kvd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here