ඉකුත් දා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 46 දෙනෙකු මිය ගිය අතර මිය ගිය පිරිස අතර සිටින බොහෝදෙනෙකු කාන්තාවන් සහ ළමුන් බව තලේබාන් රජය පවසනවා.

තලේබාන් රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම ප්‍රහාර හේතුවෙන් දෙරට අතර සබඳතා තවදුරටත් පළුදු වීමේ අවධානමක් පවතින බවයි.

ඇෆ්ගනිස්ථාන රජයේ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්‍රාට් පවසා තිබුණේ, පක්ටිකා පළාතේ දිස්ත්‍රික්කයක් වන බර්මාල් හි ස්ථාන හතරක් ඉලක්ක කරගත් ප්‍රහාරවලින් මියගිය අය සරණාගතයින් බවයි.

මේ අතර පාකිස්ථාන තලේබාන් හෝ ටෙහ්රීක්-ඊ-තලිබාන් පාකිස්ථානයේ ප්‍රකාශක මොහොමඩ් කුරාසානි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, කාන්තාවන් සහ ළමුන් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගිය බවයි.

ඔවුන් වයඹ දිග පකිස්ථානයේ ප්‍රහාරය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට පලා ගිය “නිරායුධ සරණාගතයින්” බව ද ඔහු පවසා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය සඳහා වන පකිස්ථානයේ විශේෂ නියෝජිත මොහොමඩ් සාදික් ගැටළු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා කාබුල් වෙත ගොස් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාර එල්ල වී ඇතැයි ද සඳහන්.

මේ අතර ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍යාංශය එරට පිහිටි පකිස්ථාන තානාපති කාර්‍යාලයේ නියෝජිතයා කැඳවා පකිස්ථාන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ඉදිරිපත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ පකිස්ථානයේ සිවිල් ආන්ඩුවේ නියෝජිතයෙකු ඇෆ්ගනිස්ථාන නිලධාරීන් සමග සාකච්චා වල කාර්යබහුලව සිටින අතරවාරයේ “දෙරට අතර සබඳතාවන්හි අවිශ්වාසයක් ඇති කිරීමට” පකිස්ථාන හමුදා විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.

source :- https://tinyurl.com/4bk3p62m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here