
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය අභාවයට යමින් තිබෙන බව අවස්ථා ගණනාවකදී හිරු ප්‍රවෘත්ති රටට අනාවරණ කළා.
මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නොමැති පසුබිමක එම වෙළෙඳ සංකීර්ණයේ වත්මන් තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති සොයා බැලුවා.
මහින්ද චින්තනය වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ෂක අමාත්‍යාංශය, බේරේ වැව පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකර, 2014 වසරේදී ජනතා අයිතියට පත් කළා.

ඒ, රුපියල් මිලියන 352ක වියදමක් දරමින්.
කලක ඉතා මනරම් ස්ථානයක් වූ මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය, දෙස් විදෙස් සංචාරයකින්ගේ ද අකර්ශනය දිනාගත් ස්ථානයක් බවට පත්ව තිබුණා.
නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට පාවෙන වෙළෙඳ සංකීර්ණය අභාවයට ගොස් තිබෙනවා.
පාවෙන වෙළෙඳ සංකීර්යට පිවිසෙන හා එහි ගමන් කිරීමට ඇති ලී පියගැටපෙළ ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇත්තේ මෙහි පැමිණෙන ජනතාවගේ ජීවිත ද අවදානමක හෙළමින්.
කඩ කාමර 96කින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණයේ මේ වනවිට විවෘතව පවතින්නේ කිහිපයක් පමණයි.
ඇතැම් කඩකාමර විනාශ වී ඇති අයුරු ද දක්නට ලැබෙනවා.
පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ස්ථාපිත බෝට්ටු සේවාව ද අභාවයට ගොස් තිබෙනවා.
මෙහි වැසිකිළි පද්ධතිය ද ඉතා අපවිත්‍ර වී ඇති අතර කාණු පද්ධතිය මදුරුවන් බෝවන ස්ථානයක් බවටයි පත්ව ඇත්තේ.
අභාවයට යන මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඇතැම් පිරිස්වල නවාතැන්පළක් බවට පත්ව තිබීම දක්නට ලැබෙනවා.
බේරේ වැවේ කැළිකසළ හේතුවෙන් වහනය වන අධික දුගඳ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට අත්ව ඇති මෙම ඉරණම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම හිරු ප්‍රවෘත්ති රටට අනාවරණ කළත් මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නැහැ.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මේ ස්ථානය මෙලෙස අභාවයට යාම කණගාටුවට කරුණක්.
source :- https://tinyurl.com/5hydry9s







