මේ දක්වා භාරනොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලු බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි 20 වන දිනට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටිනවා.

සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් 2024 නොවැම්බර් 21 දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාර දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියළුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුම් දුන්නා.

අදාල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට 85% ක් පමණ බලපත්‍රලාභීන් විසින් එම ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එම පුරවැසියන්ට ගිනි අවි තවදුරටත් ලඟ තබා ගැනීමට අවශ්‍ය නම් එකී අවශ්‍යතාවය පැහැදිලි කරමින් 2024 ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන් අතර එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනි අවි පරික්ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමඟ අදාල ලේඛන ඉදිරිපත් කරන ලෙස ඔවුන් වෙත දැනුම් දී තිබෙනවා.

ජිවිත ආරක්ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනි අවියක් පමණක් ලබා දීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ තීරණය වන අතර එය ද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටින්නේ ගිනිඅවි ළඟ තබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය හා අදාළ ගිනි අවි පරීක්ෂාව 2025 ජනවාරි මස 20 වන දින අවසන් කිරීමට නියමිත අතර බලපත්‍රලාභීන්ට එදිනට පෙර ගිනි අවි විගණනය සඳහා ඉදිරිපත් කරන ලෙසයි.

නිවේදනය සඳහා පිවිසෙන්න

source :- https://tinyurl.com/4wwz6h2b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here