උතුරු පළාතේ පැතිර යන ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ වෛරසය වෙනත් සතුන්ගේ ශරීර තුළද පැවතිය හැකි බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් පතිරණ පවසනවා.

ඔහු කියා සිටියේ ඒ අනුව මේ වනවිට ගවයින්ගේ රුධිර සාම්පල ද පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.

මේ අතර, මේ වන විට යාපනයේ මී උණ වැළදුණු රෝගීන් සංඛ්‍යාව 112ක් දක්වා ඉහල ගොස් ඇති බව යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආරුමුගම් කේතීස්වරන් පවසනවා.

එම රෝගීන් යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලේ පිහිටුවා ඇති විශේෂ ප්‍රතිකාර ඒකකයේ රදවා ප්‍රතිකාර කරගෙන යන බවයි ඔහු සඳහන් කරන්නේ.

රෝගය පාලනය කර ගැනීම පිණිස මේ වන විට යාපනයේ පුද්ගලයින් 8264කට ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති අතර, රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු නොකඩවා සිදු කෙරෙනවා.

මේ අතර, වසංගතයක් මෙන් පැතිරෙන මී උණ රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් තවත් පියවර කීපයක් ගැනීම සදහාත් රෝගය පැතිර යාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම පිණිසත් කොළඹ සිට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් තුනක් යාපනයට පැමිණීමට නියමිතව තිබෙනවා.

යාපනයේ මී උණ රෝගය පැතිරීම හා ගවයින් අතර යම් සම්බන්ධයක් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන්ට විශාල සැකයක් ඇති වී තිබෙන අතර, කොළඹ සිට එක් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණෙන්නේ ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කිරීමට බවයි යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

මී උණ හේතුවෙන් මේ වන විට යාපනයේ හා මුලතිව් ප්‍රදේශ වල පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

source :- https://tinyurl.com/267as82a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here