ජනාධිපති අනුර කුමාර දිසානායකට මේ වන විට පූර්ණ බලය ඇති බැවින් වහාම යම්කිසි තැනක වරදක් වී ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

මහලේකම්වරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මහලේකම්වරයා කියා සිටියේ බොරුවට මාධ්‍ය ඉදිරියට ඇවිත් රාජ්‍ය නිලධාරීන්ගේ නම් තනතුරු කියමින් රාජ්‍ය නිලධාරීන්ට දෝශාරෝපණය නොකර චෝදනා ඇතිනම් වහාම ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ලෙසයි.

එමෙන්ම වැරදි කර තිබෙන නිලධාරීන්, දේශපාලඥයින් සිටිනම් හිස් ෆයිල් තියාගෙන බොරු කිය කිය සිටින්නේ නැතිව වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මහලේකම්වරයා මෙහිදී කියා සිටියා.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් “ පහුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ විපක්ෂයේ. විපක්ෂයේ ඉන්නකොට ඔවුන් විවිධ චෝදනා කළා දේශපාලඥයින්ට සහ පැවති රජයට. ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ඔවුන් විවිධ චෝදනා එල්ල කළා. නමුත් දැන් තත්වය වෙනස්. ඔවුන් එදා විපක්ෂයේ ඉඳලා මාධ්‍ය සංදර්ශන තියලා චෝදනා එල්ල කළාට අද සුළුතරයකින් හරි ජනාධිපති බවට පත්වෙලා සිටින්නේ ඔවුන්ගේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක. එතුමා ජනාධිපති වුණාම මේ රටේ ආරක්ෂක හමුදා, පොලිසිය මේ සියලු නිතිය ක්‍රියාත්මක වන ආයතන එතුමාගේ යටතේ කටයුතු කරන්නේ. තවදුරටත් මාධ්‍ය සංදර්ශන තියලා ජනාතාවට මාධ්‍ය සංදර්ශන පැවැත්තුවාට වැඩක් නැහැ. ඔවුන් මේ රටේ ජනතාවට දිගින් දිගටම කියා සිටියේ මේ රටේ දේශපාලඥයෝ හොරකම් කරනවා, මේ රටේ වංචා දූෂණ වෙනවා කියලා. හැබැයි අපි දකිනවා පහුගිය කාලයේ ඒ මාධ්‍ය සංදර්ශන පවත්වපු පුද්ගලයෝම රාජ්‍ය බලය ලැබිලා , රටේ සියලු බලතල ඔවුන් සමඟ තියාගෙනත් නැවතත් මාධ්‍ය සංදර්ශන තියලා පරණ දේම කරනවා. ආණ්ඩු පක්ෂයේ සිට ඔබලාට මාධ්‍ය සංදර්ශන තිබීම නොවේ කළයුත්තේ, වහාම යම්කිසි තැනක වරදක් , හොරකමක් වෙලා තිබෙනවානම් ඒ පුද්ගලයින්ට එරෙහිව අදාළ පැමිණිලි සිදුකරලා පොලිස් විමර්ශන කර ඔවුන්ව අත්තඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. පහුගිය කාලයේ ඔවුන් රාජපක්ෂලා හොරකම් කළා, උගන්ඩාවට මුදල් විශාල ප්‍රමාණයක් යැව්වා කිව්වා. කරුණාකරලා ඒ අදාළ සාක්ෂි සොයලා වහාම විමර්ශන ඒකකයක් දාලා මේ පිළිබඳව සොයන්න. කරුණාකරලා දැන්වත් විපක්ෂයේ කාර්ය භාර්යයෙන් මිදිලා ආණ්ඩු පක්ෂයේ කාර්ය භාර්යයට එන්නැයි පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/ym849f3h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here