ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.

ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස 8 වනදා හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු බවයි සියලු ආයතන ප්‍රධානීන්, සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන අතර, ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම ලබන මස 4 වනදා සිට 11 වනදා මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙනු ඇති.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මහ මැතිවරණය පැවැත්වෙනවා.

ඉදිරි මහ මැතිවරණයේ කටයුතු පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමට නියමිතයි.

එහිදී තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකරන ආකාරය සහ ඊට අදාළ දින වකවානු තීරණය කිරීමටයි නියමිතව ඇත්තේ.

එසේම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම සඳහා ඒවා නිවෙස් වෙත බෙදාහැරීමේ යාන්ත්‍රණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

source :- t.ly/8fVUK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here