දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි මහමැතිවරණයේදී වෙනම තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය යටතේ මහ මැතිවරණය තරග කිරීමට තමන් ඇතුලු දෙමළ සන්ධානය නියෝජනය කළ පක්ෂ කිහිපයක් තීරණය කළ ඇති බවයි.

ටෙලෝ සහ ප්ලෝට් සංවිධානයද ඊට අයත්.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම දේශපාලන පක්ෂ කටයුතු කළා.

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරම් නායකත්වය දරණ දෙමළ ජනතා ජාතික සන්ධානය මැතිවරණයට තරඟ කරන ආකාරය පිළිබද මේ දක්වා තීරණය කර නැහැ.

එසේම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන තමිල් අරසු පක්ෂයද මහමැතිවරණයට තනිව තරඟ වදිනවාද එසේ නොමැති නම් සන්ධානගත වී තරඟ කරන්නේද යන්න පිළිබද මේ දක්වා තීරණය කර නැහැ.

එම පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක පී. අරියනේන්ද්‍රන්ට සහය පළකිරීමෙන් වැළකී සිටි අතර සමගි ජනබලවේගයේ අපේක්ෂක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමටයි තීරණය කළේ.

ඒ අනුව යාපනය සහ වන්නි දිස්ත්‍රික්කය සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් ජයගත්තා.

මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සියලු‍ පක්ෂ එක්වූ පුළුල් සන්ධානයකින් තරග කිරීමට බලාපොරොත්තු වන බව පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පවසනවා.

හිටපු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සමග කොළඹ දී ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේබව සදහන් කළා.

source :- https://tinyurl.com/yxb7ae5k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here