
ජාතික ආරක්ෂක ගැටළු හේතුවෙන් නිශ්චිත චීන හෝ රුසියානු තාක්ෂණය භාවිතා කරන ස්මාර්ට් වාහන විකිණීම හෝ ආනයනය කිරීම තහනම් කිරීමට අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබෙනවා.
ඒ අනුව මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු වාණිජ ලේකම් ජිනා රයිමන්ඩෝ පවසා තිබුණේ, පෙබරවාරි මාසයේ ආරම්භ කරන ලද එක්සත් ජනපද රජයේ පරීක්ෂණයකින් චීනයේ සහ රුසියාවෙන් එවන මෘදුකාංග සහ දෘඩාංග එක්සත් ජනපද වාහනවල විවිධ ජාතික ආරක්ෂක අවදානම් ඇති බව සොයා ගත් බවයි.
ඒවා අනවසරයෙන් කඩාකප්පල් කිරීම සහ රියදුරන් පිළිබඳ පුද්ගලික දත්ත එකතු කිරීම සිදුකිරීමට භාවිත කරන බවටයි එහිදී චෝදනා එල්ල වුණේ.

එහිදී ඇය ප්‍රකාශ කළේ, “ආන්තික අවස්ථාවන්හි දී, විදේශීය විරුද්ධවාදියෙකුට එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ සියලු ම වාහන වසා දැමීමට හෝ පාලනය කිරීමට හැකි වන අතර, ඒ සියල්ල එකවර කඩා වැටීම් හෝ මාර්ග අවහිර කිරීම සිදු කරයි.” යනුවෙනි.








