
ඉන්දියාවේ ඉන්දෝර් දිස්ත්‍රික්කයේ පුහුණු හමුදා නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකුට සන්නද්ධ අපරාධකරුවන් විසින් ඊයේ (11) සවස අමානුෂික ලෙස පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රථමයෙන් කොල්ලකෑමේ අරමුණින් පැමිණි බව පෙනී ගිය ප්‍රහාරකයින් නිලධාරීන්ට දරුණු ලෙස පහර දී එක් නිලධාරිනියක් සමූහ දූෂණයට ලක් කර ඇතැයි පැවසේ.
අපරාධකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයකුට පෙර අපරාධ වාර්තාවක් තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

යුද හමුදා විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටින මෙම නිලධාරීන් පුහුණුවීම් ස්ථානයකට නිලධාරිනියන් සමඟ පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.
පසුව එක්වරම ආයුධ පෙන්වා මිනිසුන් අට දෙනෙකු ඔවුන් වටකර ගෙන තිබෙනවා.
ඔවුන්ගේ මුදල් සහ බඩු බාහිරාදිය කොල්ලකෑමට පෙර ඔවුන්ට පහර දී ඇතැයි පැවසේ.
ප්‍රහාරකයින් එක් නිලධාරියෙකු සහ නිලධාරිනියක් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, භීතියට පත් අනෙක් නිලධාරියා හැකි ඉක්මනින් තම ඒකකය වෙත ගොස් අණදෙන නිලධාරියාට දන්වා පොලිසියට දැනුම් දී තිබෙනවා.
පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් සමඟ එම ස්ථානයට ගිය නමුත්, ඔවුන් පැමිණෙන බව දැක ප්‍රහාරකයෝ පලා ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.
පසුව වෛද්‍ය පරීක්‍ෂණය සඳහා සිව් දෙනාම රෝහලට ඇතුලත් කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයෙන් පසු එක් කාන්තාවක් දූෂණයට ලක්ව ඇතැයි සනාථ වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ අනෙකුත් අපරාධකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
source :- https://tinyurl.com/5pyfy6pb








