ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ඡන්දය අනුර කුමාර දිසානායක මහතාට ලබා දෙන ඡන්දයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (01) පස්වරුවේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ රැළිය අමතමින්.

එහි දී ඔහු ඉල්ලා සිය පාක්ෂිකයන්ගෙන් සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසටයි.

ආර්ථික අභියෝගවලට බියේ පැන ගිය පිරිස් අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී ඇත්තේ, තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහි දී පෙන්වා දුන්නා.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින්, ජනාධිපතිවරයා අවධාරණය කළේ ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතාට ජයගත නොහැකි බවයි.

“අද මෙම වේදිකාවේ විවිධ පක්ෂ නියෝජනය කරන පිරිස සිටින්නේ ඇයි කියා මා ඔබට පැහැදිළි කිරීමට කැමතියි. අවුරුදු දෙකකට පෙර මේ රටේ විශාල අවුලක් තිබුණා. ආහාර ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. හැමතැනම පෝලිම් තිබුණා. එදා ප්‍රශ්නය උග්‍ර වූ විට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මැයි 09 වනදා ඉල්ලා අස් වුණා. සම්ප්‍රදාය අනුව අගමැතිවරයා ඉවත් වූ පසු එම වගකීම විපක්ෂනායකවරයා භාරගත යුතුයි. මුළු දවසම බලාගෙන හිටියත් ඔහුගෙන් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ.

රාත්‍රී වන විට අපට ආරංචි වුණා මෙම වගකීම භාර ගන්න බැහැ කියා විපක්ෂනායකතුමා කිව්වා කියලා. ඊට පස්සේ කථාවක් ගියා, ජනාධිපතිවරයා හමු වෙන්න සරත් ෆොන්සේකා ගියා කියලා. සරත් ෆොන්සේකා මැතිතුමත් වගකීම භාර ගන්නේ නැතිව නැවත පැමිණ තිබුණා.

ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් මේක භාරගන්න කියලා. මම තනිවම ගිහින් මේ වගකීම භාරගත්තා. ඊට පසුව මට උදව් කිරීමට මේ සියලුදෙනා එකතු වුණා. අපි සියලුදෙනා එකතු වුණේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් බව කිවයුතුයි. අපි එකතුවුණේ නැත්නම් දරුවන්ට ආහාර නැතිව යනවා. කිරි පැකට් එකක් ගන්න අම්මටයි තාත්තටයි මාරුවෙන් මාරුවට පෝළිම්වල ඉන්න වෙනවා.

එදා මේ රටේ ප්‍රචණ්ඩත්වය ඇති වුණා. මම එම තත්ත්වය පාලනය කළා. එදා මම එම පියවර නොගත්තා නම් එදා ලංකාව, අද බංග්ලාදේශය මුහුණ දී සිටින තත්ත්වයට පත් වෙනවා. කවුරුවත් බංග්ලාදේශයේ වගකීම භාරගත්තේ නැහැ. මිනිසුන් ඝාතනය කරනවා. අගවිනිසුරුවරයා පන්නා දමා තිබෙනවා. එවන් තත්ත්වයකට අද ඔවුන් පත් වෙලා සිටිනවා.

නමුත් මම සියලුදෙනා එක් කරගනිමින් එදා මේ රටේ ආණ්ඩුක් හැදුවා. අනුරටයි, සජිත්ටයි ඊට එක්වන ලෙස මා ආරාධනා කළා. නමුත් ඔවුන් අවේ නැහැ. දැන් රාජපක්ෂලා ඉවත් වූ විට කියනවා රාජපක්ෂවරුන් අයින් වෙනවා කියලා දන්නවා නම් අප මෙතන ඉන්නවා කියලා.

අපි ඇවිල්ලා 70%ක තිබු උද්ධමනය 2%ක් දක්වා අඩු කළා. රතු පරිප්පු 40%කින් අඩු කළා, තිරිගු පිටි මිල 29%කින් අඩු කළා. කුකුල් මස් මිල 11%කින් අඩු කළා. ඩීසල් මිල 28%කින් සහ ගෑස් මිල 31%කින් අඩු කළා. දළ දේශීය නිෂ්පාදනය 2023 වසරේදී ඩොලර් බිලියන 84ක් බවට පත් කළා. අප එය තවත් ඉහළ නංවා ගත යුතුයි.

ඒ වගේම අපි රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. දැන් උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව ඉදිරියේ දී වැටප් වැඩි කරනවා. ඒ වගේම අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් ලබා දුන්නා. බංකොළොත් රටක් වුවද අප මෙම වැඩකොටස ක්‍රියාත්මක කළා.

ඒවගේම ගොවි ජනතාවට පොහොර ලබා දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට මේ ප්‍රදේශයේ ලක්ෂ ගණනකට සින්නකර ඉඩම් අයිතිය හිමිවෙනවා. අප රට තුළ ඇති කළ මෙම ස්ථාවරත්වය නිසා තමයි අද ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි වී තිබෙන්නේ. බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා, දැන් ඔවුන්ට මැතිවරණය පැවැත්වීම නොහැකි වී තිබෙනවා. නමුත් අප ගත් පියවර නිසා තමයි අද සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. ඔවුන් එදා පැනලා ගියා, අද ඡන්දයකට එනවා. මෙය තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය කියා මම ඔවුන්ට කියන්න කැමතියි.

අපි කණ්ඩායමක් ලෙස එක්වෙලා මේ රට හැදුවා. අප රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර ගනිමින් විදේශ විනිමය ඉහළ නංවා ගත යුතුයි. ඒ වෙනුවෙන් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. මම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා වූ ජනවරමයි.

තමන්ගේ නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මතයි. කළින් අත්තිවාරම දෙස බලා එය ගොඩනැගීමට අවශ්‍ය පියවර අප හඳුනා ගන්නවා. මම මේ ජන වරම ඉල්ලන්නේ මේ නව නිවස ගොඩනැඟීමට බව ප්‍රකාශ කිරිමට කැමතියි. සජිත් හා අනුර ඉල්ලන්නේ තිබෙන නිවසටත් ගිනි තැබීමටයි.

අපි පස් වසරක සැලැස්මක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළීවෙළ මේ වන විට ජනතාව හමුවේ තබා තිබෙනවා. අප ජීවන බර සැහැල්ලු කරන්නේ රුපියල ශක්තිමත් කරලයි. රුපියල ශක්තිමත් කරන්නේ මේ රටේ දළ දේශීය නිෂ්පාදන ඉහළ නංවා ගැනීම තුළිනුයි.

නමුත් සජිත් සහ අනුර කියන විදියට බදු අඩු කළොත් රටේ ආදායම තවත් අඩු වෙනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බදු අඩු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ මේ රටේ ජනතාවට පොලිම්වල සිටීමට සිදු වුණා.

මෙවැනි වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි වන්නේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ තවත් රටවල් 17ක් සහයෝගය ලබාදී තිබෙනවා. අපි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළොත් නැවත 2022 වසරේ තිබු තත්ත්වයට යාමට සිදුවන බව මම කණගාටුවෙන් වුවද කිවයුතුයි. අපි ඇති කළ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යා යුතුයි. බංග්ලාදේශයේ වගේ අවුලක් මේ රටේ ඇති කරගන්න බැහැ.

ඒ වගේම මෙහි සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම වචනයක් කියන්න කැමතියි. අද එක්සත් ජාතික පක්ෂය බෙදිලා තිබෙනවා. ඇතැමුන් හිතනවා සමගි ජන බලවේගයට යන්න ඕන කියලා. නමුත් ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්තිය තිබෙන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ මම කියලා මා බව කිවයුතුයි.

සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිවයුතුයි. මේ ගැන ජනතාව දැනුවත් කරන්න, අනුරට උදව් කර අපේ ප්‍රතිපත්ති අපි නැති කරගත යුතු නැහැ. ඒ නිසා අපි සියලුදෙනා දෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු. මේ රටේ ජයග්‍රහණය තහවුරු වන්නේ මගේ ජයග්‍රහණය මත බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.”

source :- https://shorturl.at/keETQ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here