මන්නාරම මහ රෝහලේදී කාන්තාවක් අධික ලෙස රුධිර වහනය වී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු ඇතුළු සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ මෙම සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි උපාධිධාරී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කිරීම සඳහා මුරුන්ගන් රෝහලට ඇතුළත් කොට ඇති අතර දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව එම කාන්තාව ආපසු නිවසට ගොස් තිබෙනවා.

නිවසට ගිය ඇයට අධික ලෙස රුධිර රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්ගන් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත් ඇයගේ තත්වය තරමක් බරපතල තත්වයේ තිබීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මන්නාරම මහ රෝහල වෙතට මාරු කොට යවා තිබුණා.

එහිදී ඇය ඇතුළත් කළ වාට්ටුවේ කාර්යභාර වෛද්‍යවරයා, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම සිද්ධිය සාමාන්‍ය රුධිර වහනය වීමක් ලෙසයි සලකා ඇත්තේ.

කෙසේ වෙතත් අදාල කාන්තාව පසුගිය ජූලි මස 28 වැනිදා රෝහලට ඇතුළත් කොට පැය කිහිපයකට පසුව මිය ගොස් ඇති අතර ඇයගේ මව විසින් ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන් වෙත මේ පිළිබඳව පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණ ආරම්භ කළා.

ඒ අනුව එදින සේවයේ නිරතව සිටි මන්නාරම රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු සහ පවුල් සෞඛ්‍ය‍ සේවිකාවකගේ සේවය මෙසේ අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අදාල අයගේ සේවය අත්හිටුවීමේ ලිපි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ නිලධාරී වෙත ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here