ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.

ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර ඊයේ (16) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඒ ඒ අපේක්ෂකයන් වියදම් කළ මුදල පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරණය අවසන් වී දින 20ක් ඇතුළත මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව ද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව මින් පෙර නිවේදනය කළේය.

යම් හෙයකින් මැතිවරණ කොමිෂන් සභාව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් දහසක මුදලක් වැය කිරීම වෙනුවෙන් අවසර ලබා දුනහොත් ජනාධිපති අපේක්ෂකයින්ට මැතිවරණය සඳහා රුපියල් මිලියන 1700කට අධික මුදලක් වැය කිරීම සඳහා අවසර හිමිවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here