ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07වැනිදා ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹෙන බව සඳහන්.

ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති මාර්ගගත සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

ජනාධිපති අරමුදලට නව ඩිජිටල් කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බවයි ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ සඳහන්කර සිටියේ.

මෙහිදී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකියි.

රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ජාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සිදු වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එම නිවේදනය මෙතැනින්

source :- https://tinyurl.com/4whvjm8w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here