
රට තුළ මතුව ඇති සහල් ගැටලුවට පිළියමක් ලෙස රජය සහල් ආනයනයට අවසර දීමත් සමග මෙරටට ගෙන්වූ සහල් තොග අතුරින් බහලුම් 3ක අඩංගු සහල් කිලෝග්‍රෑම් 75,000ක් පමණ පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
මේ අතර රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේවනවිට ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 2,400න් 90%ක් පමණ රේගුවෙන් නිදහස් කර ඇති බවයි.
රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබාදුන්නා.

ඒ අනුව, ඊයේ වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 2,400ක් පමණ ගෙන්ව ඇති අතර ඒවා කොළඹ වරායට ගොඩබා තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ලබන 20 වැනිදා දක්වා මෙරටට සහල් ආනයනය කිරීමට අවසර ඇති බවයි.
මෙතෙක් ආනයනය කර ඇති සහල් තොග වලින් 90%ක් පමණ රේගුවෙන් නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළා.
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන මෙම සහල්වල ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින්.
ඒ අනුව මෙරටට ආනයනය කළ සහල් තොග ඇතුළත් බහලුම් 03ක සහල් කිලෝග්‍රෑම් 75,000ක් පමණ ප්‍රමාණයක් පරිභෝජනයට නොසුදුසු බවට එම පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
එම බහාලුම් 03න් බහාලුම් 02ක තිබූ සහල්වල ගුල්ලන් සිටි බවයි අනාවරණය වී තිබෙන්නේ.
අනෙක් බහාලුමේ තිබූ සහල් උරවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදන සමාගමේ විස්තර ඇතුළත් පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා තිබීම හේතුවෙන් එම බහාලුම ද සෞඛ්‍ය අංශ මගින් රේගුවෙන් නිදහස් කිරීමට අනුමැතිය දී නැහැ.
මෙම පරිභෝජනට නොසුදුසු සහල් සහිත බහාලුම් 03 නැවතත් ආනයනය කරන ලද සමාගම වෙතම හරවා යැවීමට හෝ විනාශ කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර රජය ආනයනය කරන පළමු සහල් තොගය වන මෙට්‍රික් ටොන් 5,200ක් ලබන 16 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතයි.







