ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය ” විශේෂිත ව්‍යාපෘතියක් ” වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමි විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහළු පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහළු පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

එසේම, එකී බහළු පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා තිබෙනවා.

කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන ලබා දී තිබෙනවා.

එම කරුණු ද සැලකිල්ලට ගනිමින් නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය ” විශේෂිත ව්‍යාපෘතියක් ” වශයෙන් ප්‍රකාශයට පත් කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

source :- https://tinyurl.com/yrh9wmyv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here